මෙතක් වේලා ඔහුගේ නික්ම යාම ගැන බොහෝ දෙනා කතා කළත්, එය සිදුවුණේ කොහොමද කියන එක හැමෝටම ප්‍රශ්නාර්ථයක්ව පැවතුණා.
ලොවක් ඉදිරියේ අපේ රට ආඩම්බරයෙන් පුරවපු ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඉතිහාසයට එක්වුණු ඔහු නමින් කොයාන් චමිත
ලොව අසීරුතම යුද පුහුණුව ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවේ විශේෂ සීල් නාවික බළ ඝණයේ යුද පුහුණුව ලබා ඉන් සමත් වූ එකම ශ්‍රී ලාංකිකයා වශයෙන් ඉතිහාසයට එක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් NRZ 4061 මහවිතානගේ දොං කොයාන් චමිත අද (28) උදෑසන හදිසියේම අභාවප්‍රාප්ත වුණා.
විසි අට හැවිරිදි ලුතිතන් චමිත ඔහු රාජකාරි කටයුතු කරමින් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරී නිවස්නයක් තුළ රාත්‍රියේ නිදාගෙන සිටියදීම මෙසේ මරණයට පත්ව ඇති බව නාවික හමුදාව පැවසුවා.
පෙබරවාරි 04 පැවැත්වෙන 78 වන නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් සදහා ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ සිට වැලිසර නාවික හමුදා කදවුර වෙත පැමිණ සිටියදී ඔහු මෙලෙස හදිසියේ ජීවිතයෙන් සමුගෙන තිබුණා.
27 දින පැවති පුහුණුවීම්වලින් අනතුරුව විවේක ගැනීම සඳහා වැලිසර නාවික හමුදා කදවුරේ නේවාසිකාගාරයක රැදී සිට ඇති ඔහු (28) උදෑසන අවදි නොවීම හේතුවෙන් වහා ක්‍රියාත්මක වු නිලධාරීන් ලුතිතන්වරයාව නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබුණා.
පසුව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඔහු ඇතුළත් කළද එහිදී වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ ඔහූ මිය ගොස් ඇති බවයි. පසුව ලුතිනන්වරයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
මියගිය ලුතිනන් එම්. ඩි. කෙයාන් චමිත ඔරුතොට ගම්පහ ලිපිනයේ පදිංචි කරුවෙක්.
නාවික හමුදා ආරංචි මාර්ග පවසන්නේ ඔහු කිසිදු රෝගී තත්ත්වයක් නොපෙන්වමින් තම සුපුරුදු රාජකාරි ඉටු කරමින් සිටි නිලධාරියකු බවයි.
ලුතිනන් චමිතගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බවට සැක කෙරෙනවා.
ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකු වන ඔහු මීට මාස අටකට පමණ ඉහතදී ඇමරිකාවේ සීල් හමුදා පුහුණුව සාර්ථකව නිමකර මෙරටට පැමිණියා.
ලොව ඇති අතිශය දුෂ්කරම නාවික හමුදා පුහුණුව ලෙසින් සැලකෙන මෙම පුහුණුව සාර්ථකව නිම කරන්නේ ඒ සඳහා ඇතුළත් වන ලොව විවිධ රටවල හමුදා සාමාජිකයන්ගෙන් ඉතාම සුළු පිරිසක් වන අතර එම පුහුණුව සදහා මෙතෙක් කාලයකට මෙරටින් ගොස් සමත් වු එකම නිලධාරියා වශයෙන් සැලකෙන්නේ ද නාවික ලුතිනන් චමිතයි.
මේ නිසාම ඔහු අත්කර දුන් විශේෂ ගෞරවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්ද ඔහුට ඉහළ පිළිගැනීමක් ලැබී තිබුණා.







