BREAKING NEWS
Search

තරු කුමරා හඬා වැලපෙයි…

55

ප්‍රකට දකුණු කොරියානු නළු Kim Soo-Hyun ඊයේ (31) සෝල්හි පැවති මාධ්‍ය හමුවකදී කඳුළු සලමින්, මියගිය නිළි කිම් සේ-රොන්ගේ පවුලේ අය තමාට කරන චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ, කිම් සේ-රොන් සමඟ බාලවයස්කාර වියේදී පෙම් සබඳතාවක් පැවැත්වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධවයි.

කිම් සූ-හ්යුන් එහිදී අවධාරණය කර තිබුණේ, තමාට “සත්‍ය නොවන දේ පිළිගැනීමට” නොහැකි බවයි.

වයස අවුරුදු 24ක් වූ නිළි කිම් සේ-රොන් ඉකුත් පෙබරවාරි මාසයේදී සැක සහිත ලෙස අවසන් ගමන් ගිය අතර පසුව එය සියදිවි නසාගැනීමක් බවයි වාර්තා වූයේ.

ඇගේ මරණයත් සමඟ සෘජුව චෝදනා එල්ල වූ කිම් සූ-හ්යුන්, ප්‍රකට වෙළඳ නාම කිහිපයකින්ම ඉවත් කිරීමට ද කටයුතු කර තිබුණා.

ඒ අනුව තමන්ට එල්ල වන බරපතල චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් 37 හැවිරිදි කිම් සූ-හ්යුන් සඳහන් කර තිබුණේ ඔහු වසර පහකට පෙර වසරක් පමණ කිම් සේ-රොන් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ නමුත් ඒ ඇය බාලවයස්කාර වියේදී නොවන බවයි.

එමෙන්ම එම සම්බන්ධතාවය ඇගේ සියදිවි නසා ගැනීමට හේතු වූ බවට කරන ප්‍රකාශයන් ද ඔහු මෙහිදී ප්‍රතික්ෂේප කර තිබුණා.

කිම් සූ-හ්යුන් හට කිම් සේ-රොන් සම්බන්ධයෙන් එල්ලව තිබුණු චෝදනා දෙකකි.

ඉන් එකක් නම් ඇය වයස අවුරුදු 15ක බාලවයස්කාරියකව සිටියදී කිම් සූ-හ්යුන් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූවා යන්නයි.

දෙවැන්න ඔහුගේ ආයතනය ඇයට ගෙවිය යුතු ණයක් සම්බන්ධව වේ.

ඊයේ මාධ්‍ය හමුව පැවතියේ, කිම් සේ-රොන්ගේ මරණයෙන් පසු ඇගේ පවුල සහ කිම් සූ-හ්යුන්ගේ පාර්ශ්වය අතර සති ගණනාවක් පුරා පැවති මෙවන් චෝදනා කිරීම් මධ්‍යයේයි.

මෙම චෝදනා එල්ල වීම ආරම්භ වූයේ කිම් සේ-රොන්ගේ මරණයෙන් මාසයකටත් අඩු කාලයක පටන් වීම විශේෂ ය.

ඒ අනුව මතභේදාත්මක දේශපාලන අන්තර්ගතයන් සඳහා ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් සෘජුවම සඳහන් කර තිබුණේ, ඔවුන් දෙදෙනා ඇයට වයස අවුරුදු 15 දී වසර හයක් පෙම් සබඳතා පැවැත්වූ බවයි.

එතැන් සිට අදාළ නාලිකාව ඔවුන්ගේ සම්බන්ධතාවය අතරතුර ගත් බව කියන වීඩියෝ සහ ඡායාරූප ද නිකුත් කර තිබුණා.

අනතුරුව කිම් සේ-රොන්ගේ පවුල නියෝජනය කරන නීතිඥවරයා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, ඇයට වයස අවුරුදු 16 දී 2016 සිට දෙදෙනා අතර ඇති බව කියන තවත් ප්‍රේම ඉතිහාසයක් සම්බන්ධවත් තොරතුරු හෙළි කර සිටියා.

එහිදී කිම් සූ-හ්යුන්ගේ ආයතනය මුලින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් පසුව පැහැදිලි කළේ ඔවුන් පෙම් සබඳතාවක් පැවැත්වූයේ 2019 සහ 2020 අතර කාලය තුළ පමණක් බවත්, ඒ ඇය වැඩිහිටියෙකු වූ විට වන බවයි.

මෙම චෝදනා හමුවේ ඊයේ වන තෙක්ම නිහඬව සිටි කිම් සූ-හ්යුන්, මාධ්‍ය හමුවේ හැඟීම්බරව තමන්ට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

“මියගිය තැනැත්තා බාලවයස්කාරයෙකුව සිටියදී මම ඇය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූයේ නැත.
අපි දෙදෙනාම නළු නිළියන් වීම හැර, අපගේ සම්බන්ධතාවය වෙනත් ඕනෑම සාමාන්‍ය යුවළකගේ සම්බන්ධතාවයක් මෙන් විය.
මම නොකළ දෙයක් මට පිළිගත නොහැක.
මම නිසා බොහෝ දෙනෙක් දුක් විඳිනවා. රසිකයින්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව ඉල්ලනවා.
අභාවප්‍රාප්ත නිළියට සාමයෙන් සිටීමට නොහැකි වීම ගැනත් මටත් කණගාටුයි…”

ඒ අනුව කිම් සූ-හ්යුන් සහ ඔහුගේ ආයතනය නියෝජනය කරන නීතිඥයින් ප්‍රකාශ කර තිබුණේ, කිම් සූ-හ්යුන්හට චෝදනා නඟන යූ ටියුබ් හෙළිදරව්වට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව වොන් බිලියන 12 ක (ඩොලර් මිලියන 8.15) වන්දි ගෙවීම සඳහා නඩු පවරා ඇති බවත්, අපහාස කිරීම සහ තොරතුරු ආරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට වාර්තා කර ඇති බවයි.

මියගිය කිම් සේ-රොන් යනු 2022 දී බීමතින් රිය පැදවීමේ සිද්ධියකින් පසු ඇගේ වෘත්තීය ජීවිතය වියවුල් වීමට පෙර දකුණු කොරියාවේ වඩාත් කතාබහට ලක්වූ නිළියන්ගෙන් අයෙකි.

කිම් සූ-හ්යුන් දකුණු කොරියාවේ සහ චීනයේ මෙන්ම මෙරට ද මහත් කතාබහට ලක්වූයේ, “My Love from the Star” සහ “Queen of Tears” යන දකුණු කොරියානු නාට්‍ය මාලා තුළිනි.

දකුණු කොරියානු විනෝදාස්වාද කර්මාන්තය තුළ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත දැඩි පරීක්ෂාවට ලක්වීම සාමාන්‍ය කාරණාවකි.
නමුදු එය පමණට වඩා එහා යන අවස්ථා ඕනෑ තරම් ය.

Channel E




Leave a Reply

Your email address will not be published. Required fields are marked *