BREAKING NEWS
Search

වංචාවේ හා දූෂණයේ යෙදීමට තබා, සිතීමටවත් බියවන රටක් සෑදිය යුතුයි – ජනපති

486

දීර්ඝ කාලයක් තිස්සේ අප රට එක තලයක ගමන් කරමින් තිබෙන බවත්, තම අපේක්ෂාව වන්නේ මේ තිබෙන තලයේ ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම නොව, අප රට අලුත් තලයකට ඔසවා තැබීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ‘Dream Destination’ නමින් ක්‍රියාත්මක, දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

රට අලුත් තලයකට ඔසවා තැබීම යනු, නීතියට පුරවැසියන් යටත් වීම බවත්, නීතියට මිනිසුන් බියවීම බවත්, දැන් තිබෙන තලයේදී මිනිසුන් නීතියට යටත් නොවන බවත්, නීතියට බිය නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

වංචාවේ හා දූෂණයේ යෙදීමට නොව, වංචාවේ හා දූෂණයේ යෙදීමට සිතීමටවත් බියවන රටක් සෑදිය යුතු බවද, මහජන ධනය සොරකම් කිරීම පිළිබඳව සීතීමට පවා මේ රටේ මිනිසුන් බියවන තත්ත්වයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළා.

රාජ්‍ය යාන්ත්‍රනය හා රාජ්‍ය සේවකයා පුරවැසියාට වගකියන කාර්යක්ෂම තලයකට ඔසවා තැබිය යුතු බවත්, එම ඔසවා තැබීමේදී පොදු ප්‍රවාහන පද්ධතිය වෙත විශේෂ අවධානයක් යොමුකර ඇති බවත්, වාහන අනතුරු නිසා මියයන ප්‍රමාණය ගැටලුවක් වී ඇති බවත්, එම නිසා මාර්ග නීතිරීතී ශක්තිමත් විය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

බස් රථ සඳහා වෙනම නීති පැවතිය නොහැකි බවද, එහිදී බස් හිමියන්ට, පිටකොටුවේ වෙළඳුන්ට ආදී ලෙස යම් යම් කුඩා ‘රාජ්‍යයන්’ මේ රට තුළ තනාගෙන සිටින බවද, තමන් විසින් ඒ සියල්ලම අහෝසි කරන බවද ඔහු අවධාරණය කළා.

රටට ඇත්තේ ජනතාව විසින් තෝරා පත් කරන ලද එක් රාජ්‍යයක් පමණක් බවත්, එම නිසා මාර්ග නීතිවලදී එක් එක් බල අධිකාරීන්ට හෝ, කුඩා ‘රාජ්‍යයන්ට’ හෝ යටත් වී රට ඉදිරියට යාමට ඉඩ නොදෙන බවත්, පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන ආකාරයෙන්ම, නීති රාමුවක් ද හඳුන්වා දී තිබෙන බවත්, එය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *