නේපාල රාජකීය සංහාරයට අදට වසර 24ක්. නේපාලයේ රජු සහ ඔහුගේ අනුප්‍රාප්තික කුමාරවරු, බිසව, කුමරිය ඇතුලු රජ පවුලේ ඉහළම සාමාජිකයින් 9 දෙනෙකු කෑම මේසය මත ම ඝාතනය කෙරුණේ 2001 ජූනි 1 වැනිදා. මේ සිදුවීම නේපාලයේ නීතිය, රාජකීය පරම්පරාව, එරට මාවෝවාදී දේශපාලනය කියන සියල්ලම සම්බන්ධ සිදුවීම් ජාලයක ප්‍රතිපලයක්.
හැබැයි ඒ ඔක්කොටම වඩා මේ මහා සංහාරයට මූලික හේතුව උනේ ශේක්ස්පියර් නාට්‍යයක හමුවන ජාතියේ පෙම් කතාවක්.
2001 ජූනි මාසේ පළමුවැනිදා රාත්‍රියේදි නේපාල රජ පවුලේ තිබුනා රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයක්. මේක රජ පවුලේ ළඟම සාමාජිකයින්ට විතරක් විවෘත අතිශය පෞද්ගලික චාරිත්‍රයක්. පිටතින් සේවකයෙකු හෝ මේ භෝජන සංග්‍රහය පවතින ශාලාවට ඇතුලු උනේ නෑ.
එවක රජතුමා වූ බිරේන්ද්‍ර, රැජින අයිශ්වර්යා, රජතුමාගේ බාල පුතු වූ නිරන්ජන්, ශ්‍රැති කුමරිය, දිරේන්ද්‍ර කුමරු, ශාන්ති කුමරිය, ශාරදා කුමරිය, ජයන්ති කුමරිය යන අය මේ කෑම මේසයට වාඩි වී හිටියා. ඒත් නේපාලයේ මීළඟ ඔටුන්න හිමි කුමරු වූ දීපේන්ද්‍ර මේ භෝජන සංග්‍රහයට ආවෙ ටිකක් පරක්කු වෙලා.
එතෙක් ඔටුන්න හිමි දීපේන්ද්‍ර කුමරු තමන්ගෙ පෞද්ගලික කාමරයට වෙලා විස්කි පානය කොට තිබුනා. ඒ වගේම හෂීෂ් මිශ්‍ර සිගරට්ටුවක් ද ඔහු ලබාගෙන තිබුනා. ඉන් පසුව ස්වයංක්‍රීය පන්නයේ ගිනි අවි දෙකක් ද රැගෙන ඔහු කාමරයෙන් පිට වී භෝජන ශාලාවට පිවිසුනා. ඔහුව අතරමඟදී සේවකයින් සහ ආරක්ෂකයින් විසින් දැක්කත්, ඔටුන්න හිමි කුමාරයා ගිනි අවිවලට දැඩි ලෙස ආශා කිරීම හින්දා කිසිවෙක් ඔහුව වැළැක්වුවෙ නෑ. කොටින්ම මේ ඔහු යන්නෙ නේපාල රාජාවලිය අවසන් කරන්න බව කිසිවෙක් හීනෙන්නවත් හිතුවෙ නෑ.
දීපේන්ද්‍ර භෝජන ශාලාවට ඇතුලු උනා. හොඳින් එල්ලය ගෙන තම පියරජතුමා වූ බිරේන්ද්‍ර මියයන තුරුම වෙඩි තිබ්බා. අනතුරුව භෝජනාගාරයේ සිටි රජ පවුලේ සාමාජිකයින් වෙත වෙඩි තිබ්බා. සේවකයින් පැවසුවේ අශ්යිවර්යා රැජිනට වෙඩි නොතබන ලෙස ඉල්ලමින් කුඩා කුමාරයා වූ නිරන්ජන් අයාචනය කොට ඈ ආවරණය කරගත් බවයි. එහි රැස්ව සිටි රජ පවුලේ සාමාජිකයින් අට දෙනාම මරා දමා අවසානයේ ඔටුන්න හිමි දීපේන්ද්‍ර කුමරු තමාට ද වෙඩි තබාගත්තා. ඔහු දින තුනක පමණ රෝහල්ගත වීමකින් පසුව මොළය මියයාමෙන් මරුමුවට පත් වුවත් අනෙක් සියලු දෙනා එතැන ම මරු වැළඳගත්තා.
මේ සිදුවීමෙන් නේපාලය කම්පා උනා. ඒ හේතු 2ක් මත.
එකක් තමයි බිරේන්ද්‍ර රජතුමා 1990 දී එතෙක් පැවති කෘෘර රාජාවලිය දැඩි ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම්වලට භාජනය කරන්නට පටන් ගැනීම. කොටින්ම නේපාලය හිටියෙ ක්‍රමික ව ප්‍රජාතාන්ත්‍රීය වීමේ ළදරු ගමනක. අවුරුදු සිය ගානක පීඩනයකින් පස්සෙ ඔවුන් බිරේන්ද්‍ර රජතුමාගේ ගමන්මඟ ගැන පැහැදීමකින් හිටියා. ඒත් නේපාලය තිබුනේ දරිද්‍රතාවයේ සහ සාක්ෂරතාවයේ පතුලෙ.
අනෙක් කාරණය තමයි මේ සිදුවීම් ජාලයෙන් පසුව මාවෝවාදීන් ඇතුලු පිරිස් විසින් නේපාලය තවත් අනාරක්ෂිත රාජ්‍යයක් බවට පත් කරාවිය කියන බිය. ඇත්තටම ඒක හෙමි හෙමින් උනත් සිද්ධ උනා.
බිරේන්ද්‍ර රජතුමා ඇතුලු රජ පවුලේ සමීපත ම නවදෙනෙකු මිය යාමෙන් පස්සෙ එරට රජකමට පත් උනේ ගයනේන්ද්‍ර කුමාරයා. ඔහු 1950 දි දවස් තුනකට රජ වී තිබුනා. මේ වෙඩිතැබීම කළ දීපේන්ද්‍ර කුමාරයාගෙ මාමා තමයි ගයනේන්ද්‍ර. ඉතින් නේපාලයේ මාවෝවාදීන් සහ ප්‍රවත්පත් විසින් ගයනේන්ද්‍ර මේ වෙඩිතැබීමේ මහමොළකරු බවට චෝදනා කෙරුවා. කුමන්ත්‍රණ ගණනාවක් ගැන ප්‍රචාරය උනා. අවසානයේදී ඉතාම දුර්වල පාලනයකින් පස්සෙ ගයනේන්ද්‍ර 2008 දි නේපාලයේ රජ මැදුර සටන්කාමීන්ට අත්කර දෙමින් වසර සිය ගණනක රාජාවලියට තිත තබමින් සාමාන්‍ය පුරවැසියෙකු වගේ එතැනින් පිටවුනා. ඒ තමයි නේපාල රජ පවුලේ අවසානය.
ඉන් පස්සෙ මේ ඓතිහාසික සංහාරයට මුල් වූ හේතු විශාල සංඛ්‍යාවකින් (උපකල්පිත හේතු විශාල සංඛ්‍යාවක් තාම එහෙමම තියෙයි) එකම එක පැහැදිලි හේතුවක් ලෝකයට විවර උනා.
ඒ තමයි නේපාල ඔටුන්න හිමි කුමාරයා වූ දීපේන්ද්‍රගේ ශේක්ස්පියරියානු පෙම් කතාව. කොටින්ම රාජකීය ට්‍රැජඩිය.
දීපේන්ද්‍ර ඉගෙනගත්තෙ එංගලන්තයේ. ඔහුට එහේදි හමුවෙනවා නේපාල ජාතික තරුණියක වූ දේව්‍යානි රාණා. මේ දෙන්නා අතර පෙම් සබඳතාවයක් ඇතිවෙනවා. හැබැයි රාණාගේ මව ඉන්දියාවේ අතිශය ධනවත් මහරාජාවරයෙක්. ඇගේ නේපාල ජාතික පියා බිරේන්ද්‍ර රජුට විරුද්ධව දේශපාලනය කළ ප්‍රබල චරිතයක්. ඉතින් සාමාන්‍ය රාජකීය පෙම් කතාවකදි වගේ නෙවෙයි මේ කතාවෙදි රජ කුමරාට විරුද්ධ වෙන්නෙ මේ සාමාන්‍ය පෙම්වතියගෙ ගෙදරින්. මොකද ඒ වෙද්දිත් නේපාලයේ ඔටුන්න හිමි කුමාරයා වූ දීපේන්ද්‍රට තරම් විසිපස් ගුණයක වත්කමක් දේව්‍යානි රාණාට පෞද්ගලිකව තිබුනා. ඉතින් ඔවුන්ගේ මට්ටම අනුව රාණාගේ දෙමව්පියන් දැක්කෙ තම දියණිය දුප්පත් පවුලකට කරකාර දීමක් ලෙසයි.
නමුත් මේ දේව්‍යාණි – දීපේන්ද්‍ර පෙම් කතාව දිගටම ගලාගෙන යනවා. ඔවුන්ට එන විවාහ යෝජනා දෙදෙනාම ප්‍රතික්ෂේප කරනවා. වරක් දීපේන්ද්‍ර කුමාරයා පැරෂුට් පුහුණුවක කොටසක් ලෙස ගුවනින් පනින අවස්ථාව එළැඹෙනවා. දේව්‍යානි විසින් උදේ ආහාරය සකසා දුන්නොත් විතරයි ඔහු පනින්න කැමති වෙන්නෙ. ඔවුන් අතර තිබුනු සම්බන්ධය නොබිඳිය හැකි නාටකීය ස්වරූපයකට හැරෙනවා.
මේ සම්බන්ධය ගැන නේපාල රජ පවුල දැනගන්නෙ බොහෝ පසුවෙලා. අවසානයේ බිරේන්ද්‍ර රජතුමා කොන්දේසියක් පණවනවා. ඒ තමයි දේව්‍යානිව කසාද බඳිනවානම් දීපේන්ද්‍ර කුමාරයා රාජකීය උරුමය අතහැරිය යුතු බව. 2001 ජූනි පළමුවෙනිදා ඔහු රාජකීය උරුමය අතහරිනවා. ඒ කරන්නෙ තවත් කිසිවෙකුටත් ඒ උරුමය නොලැබෙන තරම් ක්‍රෝධයකින්.
හැබැයි නේපාලයට රටක් විදිහට මේ පෙම් කතාවේ ප්‍රතිපලය භුක්ති විඳින්න වෙනවා. 1990 දි බිරේන්ද්‍ර රජතුමා එතෙක් කල් තහනම් කර තිබුනු මාක්ස්වාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල තහනම ඉවත් කරනවා. රජතුමාගේ නියෝජිතයින්ගෙන් විතරක් සමන්විත පංචායත් සභා ක්‍රමය අහෝසි කරලා පක්ෂ පදනමින් ඡන්ද තියන නියෝජිත ක්‍රමය පිළිගන්නවා. ඒවා කරන්නෙත් නිකන්ම නෙවෙයි. දැවැන්ත ජනතා උද්ඝෝෂණ මාලාවකට ඇහුම්කන් දීලා. හැබැයි මේ රාජකීය සංහාරයත් සමඟ එතෙක් නේපාල ජනයාගේ ආදරය දිනාගත් බිරේන්ද්‍ර රජු සදහටම සමුගන්නවා. ඔහුගේ අනුප්‍රාප්තිකයින් වූ ගයනේන්ද්‍ර සහ මාවෝවාදීන් විසින් ඉතිරිකරපු දේවල් ගැන අද නේපාල ජනතාව මොනවා හිතනවාද දන්නෑ. නමුත් එකක් නිශ්චිතයි. ඒකාධිපතියෙක්ව මෙල්ල කරගෙන වැඩ ගන්න පටන් ගන්නකොටම තමයි නේපාලයට මේ මෙල්ල වූ ඒකාධිපතියාව අහිමි උනේ. ඒකත් පෙම් කතාවක් හින්දා.
මේ හිමාලයානු රාජ්‍යයේ පළමු ප්‍රජාතාන්ත්‍රීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ කියන සියලු දේ දශක ගණනාවක් ආපස්සට හැරවූ සිදුවීම විදිහට මේ රාජකීය සංහාරය ඉතිහාසගත වෙනවා. ඒ වගේම ප්‍රබන්ධවල සහ ඈත ඉතිහාසයේ අවස්ථාවල මිස මෑත ඉතිහාසයේදි මේ වගේ සත්‍ය රාජකීය සංහාරයක් තවත් සිදුවෙලා නැතිතරම්. කොහොම උනත් රජ පෙළපතකට වඩා හානියක් රටක ප්‍රජාතන්ත්‍රවාදයකට තියෙන්න හේතුවක් නම් නෑ.
(ඡායාරූපය: වමේ සිට පිළිවෙලින්- ඔටුන්න හිමි කුමරු දීපේන්ද්‍ර, බිරේන්ද්‍ර රජු, නිරන්ජන් කුමරු, අයිශ්වර්යා රැජින, ශ්‍රැති කුමරිය)
– Nuwan Ishara Mahagamage