BREAKING NEWS
Search

ජනපති අරමුදලෙන් මාලිනීට මුලින්ම මුදල් දුන්නේ ජේ. ආර්.

1910

රිය අනතුරත් නිසා ඇගේ හිසට බරපතළහානි වුණා
හිසට දැමූ මැහුම් නිසා රඟපාන්න බැරි වුණා
සල්ලි ලැබුණේ එංගලන්තයට ගිහින් ප්ලාස්ටික් සැත්කමක් කරන්න

ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස දැනට මාස කිහිපයකට පෙරදී පාර්ලිමේන්තුවේදී කළ කතාවක් පසුගිය සතියේදී ඔහුට පාරා වළල්ලක් වූවේය. ඒ කතාව ඔහුට පාරා වළල්ලක් වූයේ මාලිනී ෆොන්සේකාගේ අභාවය නිසාය.
ජනාධිපති අරමුදලෙන් මුදල් ගෙන ඇති දේශපාලඥයන් ගැන නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ ඔවුන් ගෙන ඇති මුදල් ප්‍රමාණයන්ද උපුටා දක්වමින්ය. ඒ අතර මාලිනී ෆොන්සේකාගේ නමද වූ අතර ඇය එම ලැයිස්තුවේ සිටින බව වැඩි දෙනෙක්ට තේරුම් ගත නොහැකි විය. ඒ මාලිනීගේ නම සඳහන් වූයේ මාලිනී ෆොන්සේකා යනුවෙන් නොවේ. ඇගේ නම මුලකුරු සමගින් සඳහන්වී තිබුණේය.
“මේ කියන්නේ සරත් ෆොන්සේකා ගැන නෙමෙයි” නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී යළි යළිත් අවධාරණය කරනු ලැබුවේ ෆොන්සේකා වාසගම සහිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කවුරුන්දැයි ඉඟි සපයමින්ය. එහෙත් ඔහු තමන් සඳහන් කරන්නේ මාලිනී ෆොන්සේකා ගැන යැයි වචනයෙන් සඳහන් නොකිරීමට වග බලාගත්තේය. ඇමැතිවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව කතාව කළ නිසා නම සඳහන් කර කුමක් කීවත් නීතිමය පියවර ගැනීමටද නොහැකිය.
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් කලාකරුවන් සිය ගණනක් සිටියත් මාලිනීගේ නම සඳහන් වූයේ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කර තිබූ නිසාය. මාලිනී ෆොන්සේකා පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි. ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. 2010 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දායකත්වයක් දුන් කාන්තාවන් කිහිපදෙනෙක්ට පාර්ලිමේන්තුවේ දොර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විවෘත කර දුන්නේය. මාලිනී ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ එසේය. බණ්ඩාරනායකවරුන් සමග දශක ගණනාවක් දේශපාලනය කළ අත්තනගල්ලේ කමලා රණතුංගට පාර්ලිමේන්තුවේ දොර විවෘත කළේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.
ඇයට පාර්ලිමේන්තුවේ දොර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විවෘත වුවත් ජනාධිපති අරමුදලේ දොර නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරුන්ගෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිතිවරුන්ගෙනුත් විවෘත වී තිබුණේය.
මෙසේ ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් බවට මාලිනී ෆොන්සේකා ඉලක්ක කරගෙන අවඥා සහගත ප්‍රකාශ නිකුත් වන විට එයට පිළිතුරු දීමට පෙරට ආවේ අශෝක හඳගමය.
“අපේ සිනමාවේ නිළි රැජින’ මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනහක් අවභාවිතා කළේ යැයි ඇතැමුන් චෝදනා කරනවා. එක් අතකින් රැජිනකට අන්දා ගරු බුහුමනට ලක් කෙරෙන මේ ගැහැනියම, අනික් අතින් හෙරක සේ ගෙන අවමන් කෙරෙනවා. මේ අවභාවිතාව ගැන තරමක් හෝ දන්නා මම ඒ දන්නා දේවල් මෙසේ ලියා තැබීම, දශක පහකට වඩා අපේ සිත් සතන් පිනවූ, හෙට අවසන් ගමන් යන ඇයට හිතේ කහටක් නැතුව සමුදෙන්නට හේතු වේවි” යැයි ජනාධිපති අරමුදලේ කතාව ගැන සටහනක් තැබූ අශෝක හඳගම සඳහන් කර තිබුණේය. අශෝක හඳගම කීවේ මෑත කාලයේදී ආන්දෝලනයට ලක්වූ ජනාධිපති අරමුදල් කතාව ගැනය.
මාලිනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලින් මුදල් ලැබුණ පළමු අවස්ථාව මෙය නොවේ. මීට දශක තුනකට පමණ පෙරදී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ මාලිනීට ජනාධිපති අරමුදලින් මුදල් ලැබුණ බව සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලක සිහිපත් කළේය.
1983 වසරේදී රූගත කිරීමක් අවසන් කර කොළඹ එමින් සිටියදී මාලිනී ඇතුළු කලාකරුවන් ගමන් ගත් වෑන් රථය අනතුරට ලක්වී තිබුණේය. සනත් ගුණතිලකත් ඒ වෑන් රථයේම සිටි නමුත් අනෙක් කලාකරුවන්ට බරපතළ තුවාල වූයේ නැත. අනතුරින් මාලිනීගේ හිසට තුවාල වී තිබූ අතර ඇය වහාම ආසන්නයේ වූ රෝහලකට ඇතුළත් කළාය.
කොළඹ මෙන් පහසුකම් නොතිබුණ එම රෝහලේ සැත්කමකට ලක්වීමට මාලිනීගේ කැමැත්තක් තිබුණේ නැත. ඇය මූලික ප්‍රතිකාර පමණක් ගෙන කොළඹට වහාම ගෙන එන්නැයි ඉල්ලීමක් කළේය. එම රෝහලෙන් මූලික ප්‍රතිකාරගත් මාලිනී වහාම කොළඹට ගෙන ඒමට කටයුතු කළේය. ඒ වන විට රෝහලේ තිබූ ගිලන් රථය මාලිනී කොළඹ ගෙන ඒමට සූදානම් කරනු ලැබුවේ වෛද්‍යවරයෙක්ද සමගය.
මාලිනී සමග කොළඹ ඒමට සනත් ගුණතිලකත් වාහනයට නැග්ගේය. ඔහු කොළඹ එන අතරමගදී කැලණියෙන් රවීන්ද්‍ර රන්දෙණියට අනතුර ගැන දැනුම් දුන්නේ මාලිනීගේ තුවාලයේ බරපතළකම සනත්ට පෙනී ගිය නිසාය. ලේ ගලමින් තිබූ තුවාලය දෙස බලා සිටි සනත් අවස්ථා කිහිපයකදීම ක්ලාන්තවී ඇද වැටී තිබුණේ තුවාලයේ බරපතළකම අදටත් අමතක නොවන ලෙසින්ය.
කොළඹට ගෙන ආ මාලිනීගේ හිසට මැහුම් තිහකට වඩා යෙදීමට සිදුව තිබුණේ තුවාලය එතරම් බරපතළ වී තිබීම නිසාය. හිසේ තුවාලය හොඳ වුණත් ඊළඟට තවත් බරපතළ ප්‍රශ්නයකට මාලිනී මුහුණ දුන්නාය. ඒ ඇයගේ හිසේ ඇතිවී තිබෙන තුවාල කැළල නිසා තවදුරටත් සිනමාවේ රැඳී සිටීම ගැන ප්‍රශ්නයකට ඇය මුහුණ දුන්නාය. ඒ අවස්ථාවේදී ඇගේ පිහිටට පැමිණියේ ජනාධිපති අරමුදලයි. ප්ලාස්ටික් සැත්කමකට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදෙලන් මුදල් දුන්නේය.
“මාලිනීගේ ප්ලාස්ටික් සැත්කම කළේ එංගන්තයේදී. ඒකට අවශ්‍ය මුදල් ජනාධිපති අරමුදලෙන් ලැබුණා” සනත් ගුණතිලක අතීතය සිහිපත් කළේය.
අසූව දශකයේදී මාලිනීට ජනාධිපති අරමුදලෙන් මුදල් ලැබුණ ආකාරයට ඉන් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී මුදල් ලැබී තිබුණේය. ඒ ඇගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. ඒ අවස්ථාවේදී ඇයට ලැබී තිබුණේ රුපියල් ලක්ෂ පහක මුදලකි.
එහෙත් ඇයට ලක්ෂ පනහක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදීය. ඒ වන විට ඇය පිළිකා රෝගී තත්ත්වයක් නිසා අසාධ්‍යව සිටියාය. ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට නම් ඉන්දියාවේ රෝහලකට ඇතුළත් කළ යුතු විය. ඒ සඳහා වැය කළ යුතු මුදල රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික බව ඇස්තමේන්තු කර තිබුණේය. ඇගේ හිතවතුන් මෙම මුදල එකතු කිරීම සඳහා පෙළ ගැසුණේය.
දශක කිහිපයක් රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය කටයුතු මෙහෙයවූ සමන් අතාවුදහෙට්ටිගෙන් රවීන්ද්‍ර රන්දෙණිය මේ සඳහා ජනාධිපතිවරයාගෙන් උපකාරයක් ගත හැකිදැයි විමසා තිබේ. සමන් අතාවුදහෙට්ටි ඒ වන විට ජනාධිපති ලේකම්ව සිටි සමන් ඒකනායකට මේ ගැන දැනුම්දී තිබුණේය. ඒ ජනාධිපති අරමුදලෙන් මේ සඳහා මුදල් ගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කිරීමටය.
ජනාධිපතිවරයාත් සමග සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පනස්පහක මුදලක් මාලිනී ෆොන්සේකාට දීමට තීරණය කෙරුණේ කැබිනට් මණ්ඩලයේදීද ඒ ගැන අවධානය යොමු කිරීමෙන් පසුවය. ඒ වන විට ජනාධිපති අරමුදලෙන් සාමාන්‍ය පුද්ගලයෙක්ට දෙන උපරිම මුදල රුපියල් ලක්ෂ දහයක් වුවත්, ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත රුපියල් ලක්ෂ පනස් පහක මුදල අනුමත වී තිබුණේය.
ඒ වන විටත් කුලී නිවසක ජීවත් වෙමින් සිටි මාලිනී ෆොන්සේකාගේ රෝගයට ප්‍රතිකාර කිරීම සදහා වන මුදල් ජනාධිපති අරමුදලෙන් මාලිනී ෆොන්සේකාගේ හෝ ඇයගේ හිතවතුන්ගේ අතට හුවමාරු වූයේ නැත. ඇය ඒ වන විට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවරට ගොස් සිටි අතර ජනාධිපති අරමුදලින් අදාළ මුදල් කෙලින් හුවමාරු වූයේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයටය. නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම මුදල් චෙන්නායි නුවර පිහිටි රෝහලට බැර කිරීමට කටයුතු කර තිබුණේය.
මේ ආකාරයට මාලිනී ෆොන්සේකාට තමන්ගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා අවස්ථාව ලැබුණු ජනාධිපති අරමුදල පිහිටවූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීය. 1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1978 නොවැම්බර් මාසයේදී ජනාධිපති අරමුදල පිහිටුවීම සඳහා වන පනත සම්මත කරගනු ලැබුවේය.
එකල ජනාධිපති අරමුදල පිහිටුවනු ලැබුවේ රුපියල් දෙලක්ෂ තිස් හත්දහස් එකසිය විස්සක මුදලකිනි. මෙම මුදල ජනාධිපති අරමුදලට ලැබී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිධුරයට පත්වීම නිමිත්තෙන් පවත්වනු ලැබූ උත්සවයකදී හිතවතුන් ලබාදුන් අරමුදල්වලින්ය.
එකල හිතවතුන්ගේ හා නොයෙක් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ජනාධිපති අරමුදල පිහිටුවනු ලැබූ නමුත් සංවර්ධන පසුව ලොතරැයි මණ්ඩලයෙන් ඒ සඳහා මුදල් ලැබෙන ක්‍රමවේදයක් සකස් විය. ඒ අනුව දැන් ජනාධිපති අරමුදලට සංවර්ධන ලොතරැයි අරමුදල් මෙන්ම අරමුදලේ ඇති මුදල් කළමනාකරණය කිරීමෙන් ලැබන මුදල්ද ආදායම් බවට පත්ව තිබේ. ජනාධිපති අරමුදල කළමනාකරණය කිරීමේ විශේෂ බලයක් ජනාධිපතිවරයා සතුවන්නේය.
ජනාධිපති අරමුදල පාලනය කිරීම සඳහා වන පාලක මණ්ඩලයක් පත්කිරීම ගැන පනතේම සඳහන් වන්නේය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා හා විපක්ෂ නායකයා, සහ ජනාධිපති ලේකම්වරයා නිල බලයෙන් පාලක මණ්ඩලය පත්වන්නේය. ජනාධිපතිවරයා විසින් දෙන පත්වීම් ලිපි අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙක් අරමුදලේ පාලක මණ්ඩලයට පත්වන්නේය. දැන් වන විට එසේ පත්ව සිටියේ හිටපු විගණකාධිපතිවරයෙක් වන සරත් මායාදුන්නේ හා මහාචාර්ය ආර්.පී. ජයකොඩිය. ජනාධිපති අරමුදලේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාය. එය නිල බලයෙන්ම ජනාධිපතිවරයාට පැවරෙන බලයකි.
ජනාධිපති අරමුදලේ ගිණුම් පවත්වාගෙන යනු ලබන්නේ මහ බැංකුවේ ගිණුමක් ලෙසින්ය. ජනාධිපති අරමුදලට බැරවන සියලුම මුදල් බැර වන්නේ මෙම ගිණුමටය.
රජයේ අනෙක් අරමුදල් වියදම් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්ට වඩා වඩාත් සරල හා පහසු ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර අරමුදල විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් වන්නේය.
ජනාධිපති අරමුදල කී සැණින් ඕනෑම අයෙක්ට මතක් වන්නේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගත හැකි අරමුදලක් ලෙසය. බොහෝ දෙනා තමන්ගේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය මුදල් ජනාධිපති අරමුදලෙන් ඉල්ලූ විට ඒවා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේය. අද මෙන් හදවත් සැත්කම් කරගැනීම පහසු නොවූ ඒ කාලයේ හදවත් සැත්කම් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වූයේ ජනාධිපති අරමුදලෙන් ලැබෙන මුදල්ය.
රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලබාගත හැකි මුදල් ප්‍රමාණයන් පිළිබඳ ජනාධිපති අරමුදල විටින් විට විවිධ නිර්ණායක ඉදිරිපත් කරන්නේය. ජනාධිපති අරමුදල සඳහන් කරන ආකාරයට හදවත් සැත්කම් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරත්, තුනත් අතර මුදලක් ලබාගැනීමට හැකිවේ. වකුගඩු රෝග සඳහා ලබාගත හැකි මුදල රුපියල් ලක්ෂ පහකි. දරුවන් සඳහා අක්මාවක් බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබාගැනීමට හැකිවේ.
එහෙත් ජනාධිපති අරමුදල ඇත්තේ රෝගීන්ට ප්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගැනීමට පමණක් නොවේ. දරිද්‍රතාවයට සහන සැලසීම, අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම, ආගම නංවාළීම හා ආගමික වත් පිළිවෙත් පවත්වාගෙන යාම, ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති අය වෙනුවෙන් ප්‍රදානයන් කිරීමට, ජනාධිපති අරමුදලේ මුදල් යෙදවිය හැකිය. ඊට අමතරව ජනාධිපතිවරයාගේ හා මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබසිද්ධිය හෝ යහපත සඳහා වෙනුවෙන් වන වෙනත් කාර්යයක් සඳහා ජනාධිපති අරමුදලේ මුදල් දිය හැකි බව පනතේම සඳහන් වන්නේය.
නොයෙක් රෝගාබාධ සඳහා රෝගීන් දෙදහස් අටසිය දෙදෙනෙක් සඳහා රුපියල් මිලියන 583ක් ජනාධිපති අරමුදල වැය කර තිබුණේ පසුගිය වසරේදීය. පසුගිය වසරේදී මහපොළ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා රුපියල් මිලියන එක්දහස් තුන්සිය හතළිස් දෙකක් වැය කර තිබිණි. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුන්දහසකට රුපියල් මිලියන 166කුත්, දී තිබුණේ පසුගිය වසරේදීය.
කාලයක් තිස්සේ ජනාධිපති අරමුදලින් මුදල් ගැනීම සඳහා ප්‍රමාදයක් පැවතියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේදී එම ප්‍රමාදය නැති කිරීමට හැකිවූ බව ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කළේය.
“ජනාධිපති අරමුලෙන් මුදල් ඉල්ලාගෙන එන රෝගීන්ට මුදල් ලබාදීම වගේම කඩිනමින් එම මුදල් දීමත් වැදගත්. 2022 ඉසර වන විට ජනාධිපති අරමුදලට අයැදුම්පත් එකොළොස් දහසක් ඇවිත් හිරවෙලා තිබුණා. ඒ අතරින් ඒ අවුරුද්දේ දහදහස් තුන්සියයකට සහන දෙන්න හැකියාව ලැබුණා. 2024 වන විට මේ ක්‍රමවේදය ඩිජිටල් කිරීමට හැකියාව ලැබුණා. ඒ අනුව 2024 දී ඉල්ලුම් කළ අයදුම්පත්වලින් සියයට 90ක් දීලා ඉවර කරන්න හැකියාව ලැබුණා” රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
ජනාධිපති අරමුදලෙන් මුදල් ගැනීමට නම් මීට පෙර කොළඹට පැමිණ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුව තිබුණේය. එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළේ නව ආණ්ඩුව බලයට පත්වීමත් සමගය.
අලුත් ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපති අරමුදලේ අලුත් වෙනස්කම් සිදුව තිබුණේය. ඒ අනුව ජනාධිපති අරමුලෙන් දැන් මුදල් ගත හැක්කේ සීමා සහිතවය. ඒ ආණ්ඩුව විසින් ඒ සඳහා සීමාවක් පනවා ඇති නිසාය.
සංජය නල්ලපෙරුම
ඡායාරූපය – රවීන් මලින්ද




Leave a Reply

Your email address will not be published. Required fields are marked *