‘ගෝඨාගෝගම’ අරගල සමයේදී සිදුවූ ඛේදජනක සිදුවීම් වැළැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම කරුණු අනාවරණය කළේ, අරගල සමයේදී බලධාරීන් සිය වගකීම් ඉටු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් චමිත් විමලරත්න මහතා ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගත් අවස්ථාවේදීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කර ඇති බවයි. එම විමර්ශනයේදී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද ඇතුළුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ඔහු අධිකරණයට පැවසීය.
මෙලෙස හඳුනාගත් සැකකරුවන් 31 දෙනාට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් වන නිල්ෂාන්ත සිරිමාන්න, පුලස්ති හේවාමාන්න, සාන්ත ජයවර්ධන සහ සුරේෂ් ඥානරාජන් යන මහත්වරු පෙනී සිටි අතර, වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ කේ.එන්. චොක්සි සහ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා යන මහත්වරු පෙනී සිටියහ. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතය.
Source – Gossip Lanka News







