කොළඹ, පෙබරවාරි 10 – ට්‍රැක්ටර් යන්ත්‍රවලට සවි කරන ලද වින්ච් උපකරණ භාවිතයෙන් සිදුකරන මාදැල් ධීවර ක්‍රමවේදයට පනවා ඇති රජයේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස ආරම්භ කර ඇති ධීවර විරෝධතා සත්‍යග්‍රහය ඊයේ (10) වන විට හය වැනි දිනටත් ක්‍රියාත්මක විය.
මෙම සත්‍යග්‍රහයට ධීවරයින් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, කුඩා දරුවන් මෙන්ම සහාය පළ කරන වෙනත් පාර්ශ්ව ද එක්ව සිටින අයුරු දැකගත හැකි විය.
තම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් හෝ නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව ධීවර නියෝජිතයෝ ප්‍රකාශ කරති. රජය තවදුරටත් මෙම ගැටලුව මඟහැර කටයුතු කළහොත්, ඉදිරියේදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ධීවර පවුල් ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ.
පසුගිය දින කිහිපය තුළ විවිධ දේශපාලනඥයන් ඇතුළු පිරිස් මෙම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයේ නිරත ධීවරයින්ට සහාය පළ කරමින් දිරිගැන්වීම් සිදු කළ බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ යාන්ත්‍රික මාදැල් ක්‍රමවේදය හරහා කොරල් පර හා සමුද්‍රීය පරිසර පද්ධතියට දැඩි හානි සිදුවන බව සඳහන් කරමින් බලධාරීන් විසින් මෙම ක්‍රමය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, මාදැල් ධීවරයින් විසින් ගොනු කර ඇති නඩුවක් මෙම මස 27 වැනිදා කැඳවීමට නියමිත බවයි. එබැවින් එම දිනයට පෙර විශේෂ සාකච්ඡාවක් ලබාදීමේ හැකියාවක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.








