BREAKING NEWS
Search

බ්‍රිතාන්‍යයේ දැවැන්ත රැකියා හිඟයක් – ශ්‍රී ලාංකිකයිනුත් රැකියා පෝලිමේ

864

බ්‍රිතාන්‍යය මේ දවස්වල දේශපාලන කැළඹිලි, සංක්‍රමණික ගැටළු සහ සමාජ උණුසුම් සිදුවීම් අතර බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. නවතම වාර්තා අනුව, රටේ විරැකියා ප්‍රතිශතය අවුරුදු පහකට පසු ඉහළම මට්ටමට ඉහළ ගොස් තිබෙනවා.

මෙහි බරපතලම බලපෑම එල්ල වෙලා තියෙන්නේ තරුණ පරපුරට. වයස 16–24 අතර තරුණයන් අතර විරැකියාව දශකයක් තුළ ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා. ඒ අතරම, මෑත කාලයේ බ්‍රිතාන්‍යයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින්ටත් රැකියාවක් සොයා ගැනීම දැන් ඉතා අසීරු වෙලා.

ව්‍යාපාර වැටෙද්දී රැකියාත් අඩුවෙයි

මහ වීදියේ කඩසාප්පු, ආපනශාලා සහ හෝටල් කර්මාන්තයේ සිටින ව්‍යාපාරිකයින් කියන්නේ වැඩිවෙමින් පවතින වියදම් නිසා අලුතින් සේවකයන් බඳවා ගැනීම අසීරු බවයි. ඊට අමතරව, අන්තර්ජාල වෙළඳ සමාගම් සමඟ තරග කිරීමට නොහැකි වීමත් භෞතික වෙළඳාමට දැඩි පහරක් වෙලා.

උදාහරණයක් ලෙස, සාම්ප්‍රදායිකව නත්තල් පසුදින (Boxing Day) වෙළඳසැල් ඉදිරියේ දිගු පෝලිම් දකින්න ලැබුණා. නමුත් ගිය වසරේ එවැනි දර්ශන බොහෝ අඩු වුණා. හේතුව – පාරිභෝගිකයින් බහුතරයක් online මිලදී ගැනීම් වෙත හැරී යාම.

AI නිසා ආධුනික රැකියා අඩුවෙයි

ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ තවත් ප්‍රධාන හේතුවක් ලෙස කෘතිම බුද්ධිය (AI) බවයි. මීට පෙර ආධුනික සේවකයන් කළ කාර්යයන් බොහොමයක් දැන් AI මඟින් ඉටු කළ හැකි නිසා entry-level jobs දැඩි ලෙස අඩුවෙමින් පවතිනවා.

උපාධි තිබුණත් ජොබ් නැහැ

රැකියා අර්බුදයේ තරම පැහැදිලි කරන උදාහරණ බොහොමයක් දැන් මතුවෙලා. උසස් විශ්වවිද්‍යාල උපාධිද ලබාගත් තරුණයන්ට පවා රැකියා සොයාගැනීම දැඩි අභියෝගයක් වෙලා.

වාර්තා අනුව, ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත් ශිෂ්‍යාවක් රැකියා 50කට ඉල්ලුම් කළත් interview එකක් ලැබුණේ එකකට පමණයි. අවසානයේ ඇය ලන්ඩනයේ cafe එකක සාමාන්‍ය රැකියාවක නිරත වෙනවා.

එමෙන්ම 19 හැවිරිදි තරුණියක් අවුරුදු තුනක කාලය තුළ රැකියා 200කට වඩා ඉල්ලුම් කළත් තවමත් රැකියාවක් නොලැබුණු බවත් වාර්තා වෙලා.

සංක්‍රමණිකයින්ට තවත් අමාරුයි

සංක්‍රමණිකයින් සඳහා මේ තත්ත්වය තවත් සංකීර්ණයි. පසුගිය වසරවල බ්‍රිතාන්‍යයට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් බොහෝ දෙනෙක් දේශපාලන රැකවරණ හෝ asylum ඉල්ලුම් කරලා ප්‍රතිඵල බලාගෙන ඉන්නවා. මේ අතරේ රැකියාවක් සොයා ගැනීම ඔවුන්ට අතිශයින් අසීරුයි.

Temporary Shortage List (TSL) යටතේ ඇති රැකියා කිහිපයකට පමණක් ඔවුන්ට අයදුම් කළ හැකි වුවත්, පළපුරුද්ද ඔප්පු කිරීම, references ලබාදීම, නවාතැන් සොයා ගැනීම වැනි කරුණු විශාල බාධාවක් වෙලා.

විශේෂයෙන්ම, අලුතින් රටට පැමිණි අය reference ලබාදෙන්නේ කෙසේද? විශ්වවිද්‍යාලයෙන් පසු පළමු රැකියාව සොයන තරුණයන් experience පෙන්වන්නේ කෙසේද? මේවා දැන් බොහෝ දෙනා මුහුණ දෙන ප්‍රශ්න.

ස්වේච්ඡා සේවයත් දැන් අමාරුයි

බ්‍රිතාන්‍යයේ රැකියා ladder එකට ඇතුල් වීමට තිබූ සාම්ප්‍රදායික ක්‍රමයක් වුණේ charity sector එකේ ස්වේච්ඡා සේවය. නමුත් විරැකියාව ඉහළ යාමත් සමඟ, volunteer අවස්ථා පවා දැන් සීමිත වෙලා.

අදකාලේ volunteer වෙන්නත් online applications පුරවලා, references දෙකක්වත් ලබාදිය යුතුයි. නමුත් සංක්‍රමණිකයින්ට ඒවා සපයන්නම අමාරුයි.

ඉක්මන් විසඳුම් නැති අර්බුදයක්

බරපතල ආර්ථික පීඩනය, දේශපාලන අවිනිශ්චිතතාව සහ කාර්මික වෙනස්කම් එක්ක බ්‍රිතාන්‍යයේ රැකියා වෙළඳපොළ දැන් සංකීර්ණම අවධියකට ඇතුල් වෙලා.

ඉදිරි කාලයේ මේ අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබේවිද කියන එකත් දැන් සැක සහිතයි. ඒ අතරේ රැකියාවක් සොයන තරුණයන් සහ සංක්‍රමණිකයින්ට මෙය දිගු කාලීන අභියෝගයක් විය හැකියි.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!