BREAKING NEWS
Search

අතිගරු ජනාධිපතිනිය චන්දිකා මැතිනිය එදා රණවිරුවන්ගේ වැටුප් අදහාගත නොහැකි ලෙස වැඩි කරේ මෙහෙමයි

2499

එවකට මා අතිගරු ජනාධිපතිනිය ගේ සමීප ආරක්ෂක පලවෙනි ඛණ්ඩයේ ඛන්ඩ භාර නිලධාරීයා ලෙස කටයුතු කරමින් සිටියෙම්.

මෙම සිදුවීම වූයේ 90 දශකයේ මැද භාගයේ සින්හල අවුරුදු කාලයේ දිනකදී ය.
අතිගරු ජනාධිපතිනිය විසින් සෑම වසරකම සින්හල අලුත් අවුරුදු දිනට පෙර හෝ පසුව, එවකට ජනාධිපති ආරක්ෂක අන්ශයේ එක් එක් ආරක්ෂක ඛන්ඩායම් වල සේවය කරනා ත්‍රිවිධ හමුදා සහ පොලිස් සියලු නිලයන් ට අවුරුදු කෑම මේසයක් සමගින් එදිනට දිවා ආහාරය වේලක් සකසා අවුරුදු සන්ග්‍රහයක් පැවැත්වීම සිරිතක් ලෙසට කලා.

එලෙස පැවතෙන අවුරුදු සන්ග්‍රහයේදි එතුමිය විසින් එදිනට දිවා ආහාරයට පැමිනෙන සියලුම නිලයන් ගේ අතටම ඉතාමත් නිහතමානීව, එතුමිය ගේම අතින් ම දිවා ආහාර ලබාගන්නා පිගාන පිලිගන්වමින් දිවා බෝජන අරගන්නා ලෙස දැනුම් දුන්නා.

ඒ වාගේම, එම අවුරුදු සන්ග්‍රහයෙදී නොවැරදීම හත්මාලුවක් පිලියල කරනු ලැබූ අතර එයත් අනිවාර්යයෙන් ම එතුමිය ගේම අතින් ම සැම නිලයකුටම බෙදා දෙමින්, ඒ හත්මාලුව සකසා ගන්නා ආකාරය පිලිබදව පොඩි විස්තරයකුත් කරමින් ඉතා නිහතමානීව සුහදශීලි ව කටයුතු කලා…එලෙසම හත්මාලුව ඇයගේ මෑනියන් ගේ, (ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය) අවුරුදු කෑම මේසයේ ද නොවරදින අන්ගයක් බවත් ඈ සිහිපත් කලා …ඒ මොහොත සැම දෙනාටම වටිනා අමතක නොවෙනා සිදුවීමක් ලෙස එකල ජනාධිපති ආරක්ෂාව වෙනුවෙන් සේවය කල සියලුම දෙනා ට මතක ඇතැයි සිතනවා…

එලෙස අරලියගහ මන්දිරයේ පැවැති පැවති එක් දිවා භෝජන අවුරුදු සන්ග්‍රහයදී එවකට ජනාධිපති ආරක්ෂක සම්බන්ධීකාරක ලෙස කටයුතු කල කර්නල් ශ්‍යාමන් කුලතුංග ජේශ්ඨ නිලධාරීන් ( පසුව මේජර් ජෙනරාල් වරයෙකු ලෙස යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි) සහ එතුමාගේ බිරිද ඇතුලු සෙසු ජේශ්ඨ නිලධාරීන් සමගින් අනුපිළිවෙලට මා ද අරලියගහ මන්දිරය ඉදිරිපස උද්‍යානයේ පිලියල කර තිබූ දිවා භෝජන මේසයේ අසුන් ගෙන ආහාර ගනිමින් සිටියා. එම දිවා බෝජනය අවසානයේ කර්නල් ශ්‍යාමන් කුලතුංග ජේශ්ඨ නිලධාරීගේ බිරිද ( ඇය එවකට කොලබ ප්‍රධාන බාලිකා විදුහලක ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටියා) සුහද පිලිසදරක යෙදෙමින් සිටියදී , එදිනෙදා ආගිය තොරතුරු , කතාබස් අතරේ ඒ දිනවල නිවසක ඇති වියහියදම් , ලමුන්ගේ අධ්‍යාපනික වියදම් පිලිබදව මාතෘකාවටද එය යොමු උනා. එහිදී ජේශ්ඨ නිලධාරීගේ බිරිද ” අනේ මැඩම්, ගෙදර ඔක්කොම වියදම් වලින් වැඩිපුර දරන්නේ මමයි…මම් විවේක වේලාවල් වල්දී අමතර පන්ති පවත්වලා තමයි ලමයින් ගේ අධ්‍ය්‍යාපනික කටයුතු වලට පොඩි මුදලක් හොයාගන්නෙ… කොහෙද ඉතින් ශ්‍යාමන්ට ලොකු තණතුරක් තිබුනත් හරි හමන් පඩියක් තියෙන එකක් යැ..” .යනුවෙන් පවසා සිටියා. එයට ඉතා ඕනෑකමකින් ඇහුම්කන් දුන් ජනාධිපතිනිය එක්වරම කර්නල් ශ්‍යාමන් කුලතුංග ජේශ්ඨ නිලධාරී දෙසට හැරී ” ශ්‍යාමන් ඔයාගේ පඩිය කීයද ? ” යනුවෙන් විමසනු ලැබුවා.

එහිදී කර්නල් ශ්‍යාමන් කුලතුංග ඔහුට ලැබෙන වැටුප පිලිබදව විස්තර කියන විට එතුමියට එය විශ්වාස කිරීමට අපහසු දෙයක් වුනා. ඇය
එහිදී නැවතත් ඇය, ඒ අසල මුර කුටියේ ඒ මොහොතේ රාජකාරියේ යෙදී සිටි සාමාන්‍ය සෙබලා දෙසට ඇගිල්ල දිගුකර ඔහුව පෙන්වමින් ” ශ්‍යාමන් එතකොට මේ රාජකාරි කරන සොල්දාදුවාගේ පඩිය කීයද ? යනුවෙන් විමසා සිටියා. එහිදී ඔහුගේ පඩිය පිලිබදව කර්නල් ශ්‍යාමන් කුලතුංග කියු දෙය විශ්වාස කල නොහැකිව ” ලමයෝ ටිකක් මෙහාට එන්න යනුවෙන් ඒ සෙබලා අමතා ” ඔය ලමයාගේ පඩිය කීයක් ලැබෙනවාද…? යනුවෙන් විමසා සිටියා. එහිදී ලැබුන ඔහුගේ පිලිතුරෙනුත් ඇය මහත් කම්පනයට පත්වූවා.

ඉන් නොනැවතී ඇය මෙසේ විමසා සිටියා…” ශ්‍යාමන් එතකොට අර උතුරු නැගෙනහිර ජීවිතේ පරදුවට තියලා සේවය කරන සෙබලුන් ගේ පඩිය කීයක් ද..??

එහිදී ඒවකට උතුරු නැගෙනහිර යුද පෙරමුණේ සේවය සදහා යොදාවා සිටි සෙබලුන් ට ඉතා කුඩා දුෂ්කර දීමනාවක් සහ විශේෂ දුෂ්කර දීමනාවක් සහ සලාක දීමනාවක් ( කොලබ ට වඩා මදක් වැඩි) ලබා දෙමින් තිබුනේ.
ඒ සියල්ල ම ඉතා සාවධානයෙන් අසා සිටි ඇය තවදුරටත් එය විශ්වාස කල නොහැකිව මෙසේ කියා සිටියා, ” ශ්‍ය්‍යාමන් මට මේක විශ්වාස කරන්න අමාරුයි…මෙච්චර සොච්චම් පඩියයක් ද මේ තමන්ගේ වටිනා තරුණ ජීවිතය පූජා කරමින්, දවල් රෑ නැතිව රටට සේවය කරනා වීරෝධාර සොල්දාදුවන් ට ලැබෙන්නේ ..??
මහත් කම්පනයකින් ඇයගේ මුවින් එවදන් නිරායාසයෙන් පිටවනු මා මෙන්ම එදින එහි සිටි සියලුම නිලධාරීන් අසාසිටියා.

ආරක්ෂක සම්බන්ධීකාරක නිලධාරී තවදුරටත් කියා සිටියා ඒ හා සමානම වූ වැටුපක් සෙසු හමුදාවන් වල ( ගුවන් සහ නාවික ) සමාන ශ්‍රේනියේ නිලයන් ටද ලැබෙන බව.

ඇය මහත් කම්පනයකින් ඒවා සාවධානයෙන් අසා සිට “ඊලග පඩි දින කවදාද ” යනුවෙන් විමසා සිටියා .. ” ශ්‍යාමන් මට ඒ පඩි දිනට පසු එලෙබන සදුදා දිනයේදී මෙතන සේවය කරනා සියලුම නිලයන්ගේ පඩිපත මගේ ඇහින් දකින්න අවශ්‍යයි.. ඔබ ඒවා ඉදිරිපත් කලයුතුයි ” යනුවෙන් දන්වනු ලැබුවා.

එවිට ඊලග පඩි දිනයෙන් පසු එය ලබාදිය හැකි බැවින් එය එසේ කරන බැවි ආරක්ෂක සම්බන්ධීකාරක කර්නල් ශ්‍ය්‍යාමන් කුලතුංග ජේශ්ඨ නිලධාරී තුමා අතිගරු ජනාධිපති තුමියට පැවසුවා.

ඉන්පසු ඇය වහාම කලයුතු අවශ්‍ය පියවර සෘජුවම ගත්තේ, ” තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසම” පත් කරමින් ත්‍රිවිධ හමුදාවේම වැටුප් විෂමතා ඉතාමත් කෙටි කලකින් නිරාකරණය කරමින්.

එලෙස ත්‍රිවිධ හමුදාවන්වල වු වැටුප් විශමතා ඉතා කෙටිකලක් තුල විසදමින් රණ විරුවන් ගේ ඉමහත් ගෞරව සහ ආදරයට ඇය පත්වුනේ නිරායාසයෙන්.

එම වැටුප් වැඩිවීම, මුලින්ම ලබුන දා, අපත් සමග සේවය කල සෙබලුන් අතිමහත් සතුටට පත්වුනේ, ” අපේ ජනාධිපති තුමිය අපි ගැන අවන්කව ම බැලුවා. මේ බලන්න සර්, මගෙ ගිය මාසෙ පඩියට වඩා රුපියල් දහ දාහක් මේ පාර ඉදන් වැඩිවෙලා.” යන්වෙන් හදවතින් ම අතිගරු ජනාධිපති තුමිය ට පින් දෙමින්..

මෙවැනි වැටුප් වර්ධකයක් එතෙක් නොලත්, එදා සේවය කල (අද විස්‍රාමික )සෙබලුන් ගේ හදවතෙහි මෙය සදා නොමැකෙන සිදුවීමක් උනා

ඔබ තුමිය ට දීර්ඝායු ලැබේවා …!.

Jaliya Dehideniya




Leave a Reply

Your email address will not be published. Required fields are marked *