බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ රජයේ පදයට නටන නිලධාරියෙක් එම තනතුරට පත් කර ගැනීමේ වුවමනාව වෙනුවෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
මේ හේතුවෙන් තුෂාර උපුල්දෙණිය සෘජුව සම්බන්ධ නොමැති කාරණාවකට ඔහුට අත්අඩංගුවට පත්වීමට සිදුව ඇති බවත්, තුෂාර උපුල්දෙණිය යනු දේශපාලකයින්ට කඩේ නොයන, දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි නැටවෙන්නේ නැති, සෘජු නිලධාරියෙක් බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියා පටිපාටිය අනුව ජනාධිපති සමාව ලබාදුන් ලේඛණයට පසුව නමක් එක් කිරීමට හැකියාව ඇත්තේ හතරදෙනෙකුට පමණක් බවද, ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හෝ අදාළ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයාට එලෙස පසුව නමක් එක් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට ගන්නේ වැරැද්ද සිදුකළ පුද්ගලයා ලෙස බවත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නේ වගවීමේ මූලධර්මය යටතේ නම් ඔහුට ඉහළින් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති ලේකම් හා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ද සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනිවාර්යය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් තිබුණ ද, විධායකය විසින් ගන්නා තීරණ අත්තනෝමතික නොවීම, සාධාරණ සහ තාර්කික විය යුතු බවට රෝයල් පාක් සිදුවීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියමවී සිටිය දී ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කරමින් ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් කර ඇති බවද ඔහු සදහන් කළා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අනිවාර්යය නිවාඩු යැවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්තනෝමතික නොවීම, සාධාරණ සහ තාර්කික වීමට නම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් කැඳවා තීරණයක් ගත යුතු බවත්, මෙහිදී එවැන්නක් සිදුව නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Helakuru Esana