අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් විදිමින් සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ මුදා හරින ලද ඩබ්.එම්. අතුල තිලකරත්න නැමති විත්තිකරු ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා (ජූනි 11) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
ඒ අනුව තමාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති එම නඩුව අවසන් වීමෙන් පසුව, විත්තිකරු අනුරාධපුර මහාධිකරණයේ පැවති, ‘ජනපති පොදු සමාව යටතේ බව කියමින් තමාට නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පවතින එච්සී/69/2108 අංක දරන නඩුව කැඳවූ අවස්ථාවේදී එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිට තිබෙනවා.
එහිදී අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාත්න වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල අධිකරණය හමුවේ කරුණු දක්වන අතරතුර විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ, තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා, විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යනුකූලව බවයි.
එය වඩාත් තහවුරු වන්නේ, ප්‍රශ්නගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථාවේ මෙම අධිකරණයේ පෙනී සිටින නිසා බව යැයි නීතිඥවරයා පවසා ඇති අතර නීතිඥවරයා ඒ බව ප්‍රකාශ කරන මොහොතේ විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සිටි විවෘත අධිකරණ ශාලාවේ සිට අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දන්වා තිබෙනවා.
විත්තකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි ද අධිකරණයට කරුණු දන්වමින් කියා සිටියේ, තම සේවාදායකයා ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා (ජූනි 11) දින අනුරාධුපර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවත් මේ මොහොතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද ඔහු සිටින බව පැවසූ නීතිඥවරයා සිය සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ, ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති එච්සී/69/2018 අංක දරන නඩුවෙන් නිත්‍යනුකූලව නිදහස්ව සිටින නිසා බව ද ප්‍රකාශ කර තිබෙනවා.
විත්තිකාර අතුල තිලකරත්න අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ නඩුවට පෙනී සිටීම සඳහා එම අවස්ථාවේ පැමිණ විවෘත අධිකරණයේ පෙනී සිට ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Helakuru Esana