BREAKING NEWS
Search

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස උඩුදුම්බරට – ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

251

අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 201ක වර්ෂාපතනයක් ලැබී ඇත.

දෙවනියට වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ උඩුදුම්බර පොත්තපිටියට වන අතර එය වාර්තා වී ඇත්තේ මිලිමීටර් 155ක වර්ෂාපතනයක් ලෙසය.

මේ අතර ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් ඇති බවද අද උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව මෙලෙස වාන් දැමීම සිදුවෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදුකෙරෙන බවද එහි දැක්වෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය වාන් දමමින් ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් ඇති බව අදාළ නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව කලාවැවේ වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ.

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැගින් සහ තවත් වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර ඇත.

අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවද සඳහන්ය.

පස් කණ්ඩි කඩාවැටීම් ඇතුළු සිදුවීම් නිසා බදුල්ල, මාතලේ, කිලිනොච්චිය, කෑගල්ල, අනුරාධපුරයේ මාර්ගවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර පොළොන්නරුවේ සුංගාවිල – සෝමාවතිය මාර්ගය ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *