BREAKING NEWS
Search

ඇප ලැබිලා රට පැන්න පොඩි ලැසී මුම්බායිහිදී අත්අඩංගුවට..!

48

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ පොඩි ලැසීට ඇප නියම කෙරුණ ද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවය.

අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය.

මීට පෙර පොඩි ලැසී සහ කුඩු සලිඳු රටින් පැන ගොස් ඇති බව වාර්තා කර තිබූ බවට දිවයින පුවත්පත විසින් වාර්තා කොට තිබූ අතර අපරාධ කල්ලි නායකයන් වන කුඩු සළිඳු හා පොඩි ලැසී යන අය රටින් පළා ගොස් ඇතැයි නිල තහවුරු කිරීමක් ලැබී නැතැයි අදාල වගකිවයුත්තන් සඳහන් කර සිටියා.

පෙර පුවත:

උසාවියෙන් ඇප ලැබුණු පොඩි ලැසී සහ කුඩු සලිඳු රටින් පැනලා..? – දිවයින

පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූ මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.

මෙම අපරාධකරුවන් දෙදෙනා මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

පානදුර මහාධිකරණයෙන් කුඩු සලිඳුට ඇප නියම කළ අතර සෑම මසකම පළමු ඉරිදා පෙරවරු 9- 12ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබිණි.

පසුගිය ඉරිදා (22දා) දිනයේ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද ඔහු එදින එහි පැමිණ නොසිටි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

කුඩු සලිඳු ඇප මත මුදා හැරීමෙන් පසු එදිනම රාත්‍රියේ (එනම් 20 වැනිදා රාත්‍රියේ) පානදුරයේ පිහිටි ඔහුගේ නිවසේ විශාල සාදයක් පවත්වා තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

එම සාදය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, පාතාල මැරයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි බවද වාර්තා විය.

ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසන්නේ මෙම සාදය පැවැත්වෙන විටත් සලිඳු රටින් පලා ගොස් තිබූ බවයි.

දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන පොඩි ලැසී ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.

පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබිණි. එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක අංශ පවසයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ මාර්තු 15 වැනිදාය.

පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එනු ලැබූහ.

හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටී.

මෙරට දරුණු ගණයේ අපරාධ කරුවකු වූ කංජිපානි ඉම්රාන් ද මීට පෙර අධිකරණයෙන් ඇප ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගොස් තිබිණි.

හේමන්ත රන්දුණු
Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *