BREAKING NEWS
Search

එයාර් ඉන්ඩියා නියමුවෙක් බීලා රාජකාරි වාර්තා කරලා

1350

එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් නියමුවකු මත් පැන් පානය කර සේවයට වාර්තා කිරීමේ සිද්ධියක් පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස කැනඩාව දන්වා සිටී.

 

නියමුවා, එම අවස්ථාවේ සිදු කෙරුණු ස්වසන පරීක්ෂා දෙකකින් ද අසමත්ව ඇත. වැන්කුවර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කැනඩා පොලිසිය විසින් එම පරීක්ෂාවන් සිදු කර තිබේ. කැනඩා ප්‍රවාහන බලධාරීන් විසින් එය “බරපතල කරුණක්” බව, එයාර් ඉන්ඩියා ගුවන් සේවය වෙත දන්වා යවා ඇත. වහා ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන ලෙස කැනඩාව බල කර සිටී.

එම සිදුවීම හේතුවෙන් දෙසැම්බර 23 දා, වැන්කුවර් සිට දිල්ලි ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ සිය ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, අවසන් මොහොතේ ප්‍රමාදයට ලක් වූ බව, එයාර් ඉන්ඩියා ගුවන් සේවය විසින් තහවුරු කර ඇත. එම අවස්ථාවේ, වෙනත් ගුවන් නියමුවකුගේ සේවය ලබා ගත් බවද, එම ගුවන් සේවය විසින් සඳහන් කර තිබේ.

 

ඒ සම්බන්ධ විමර්ශන අවසන් වන තෙක් අදාළ ගුවන් නියමුවා පියාසර රාජකාරියෙන් ඉවත් කර ඇතැයි සඳහන් කරන එම ගුවන් සේවය, ඒ සම්බන්ධ නීති-රේගුලාසි උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සෑම විටම නිසි පියවර ගන්නා බව ද දන්වා සිටී. අදාළ පරීක්ෂණ වලදී ගුවන් නියමුවා සම්බන්ධ වරද සනාථ වුවහොත්, සමාගමේ නියමයන් ප්‍රකාරව ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද, ගුවන් සේවය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විමර්ශන පිළිබඳව සහ, ඉදිරියේ එවැනි සිදුවීම් නොවීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, මෙම මස 26 දිනට පෙර දන්වා සිටින ලෙස කැනඩා ප්‍රවාහන අධිකාරිය විසින් එයාර් ඉන්ඩියා ගුවන් සේවයට දැනුම් දී තිබේ.

පසුගිය වසරේ ජුනි 12 දා ඉන්දියාවේ සිදු වූ බෝයිඞ්, ඩ්‍රීම් ලයිනර් ගුවන් අනතුරෙන් පසු, ඉන්දීය ගුවන් ප්‍රවාහනය දැඩි කතාබහට ලක්විය. අනතුරින් පුද්ගලයින් 260 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එයාර් ඉන්ඩියා ගුවන් සේවයේ ආරක්ෂක පිළිවෙත්හි ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන්, එරට ගුවන් නියාමන අධිකාරියේ විශේෂ අවධානය ද යොමුව පවතී. 2022 තෙක් එම ගුවන් සේවය ඉන්දීය රජය යටතේ පැවතියේය.

 

මේ වන විට, එහි හිමිකාරීත්වය, ටාටා සමූහය සහ සිංගප්පූරු ගුවන් සේවය යටතේ පවතී. ගුවන් සේවයට යත් සියලු නියමුවෝ ද මේ වන විට ක්ෂේත්‍රයේ අවධානයට ලක්ව සිටිති.

මෙම සතියේ, ඉන්දීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින්, එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් නියමුවන් සිව් දෙනෙක් වෙත, රෙගුලාසි අනුගතවීම් නොතකා හැරීම සම්බන්ධයෙන් සහ නිසි කාර්ය මණ්ඩල තීරණ ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් “බරපතල ආරක්ෂක රෙගුලාසි” යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කළේය. දෙසැම්බර 29 දාතමින් යුක්තව එම නිවේදන නිකුත් කර තිබූ බව, රොයිටර්ස් පුවත් සේවය කියයි. සදොස් බවට පූර්පූර්ව දැනුම්වත් වීම් තිබියද ඒ නොතකා, ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙහෙයුම් පිණිස භාර ගැනීම සම්බන්ධයෙන් එම නියමුවන් වෙත අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරිණි. බොයිඞ් 787 වර්ගයේ, එම යානය දිගු දුර පියාසැරියේ යෙදෙන්නක් බව ද වාර්තා වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!