අපි හිතන් ඉන්නේ නිතරම කාමරෙන් එලියට යන කොට ෆෑන් එකයි, ලයිට් එකයි ඕෆ් කළාම බිල අඩුවෙයි කියලා. ඒත් ඔයාගේ ගෙදර ඇතුලේ ඔයාට හොරෙන් කරන්ට් එක උරා බොන “හොරු” ගොඩක් ඉන්නවා කියලා ඔයා දන්නවද? 🧛♂️ මේ පුංචි වෙනස්කම් 10 කළොත්, ලබන මාසේ බිල එද්දී ඔයාටම පුදුම හිතෙයි. ගෙදර කරන්ට් බිල “බාගෙකින්” අඩු කරන රහස් ක්‍රම 10ක් මෙන්න.
අංක 01. රතු එළිය නිවන්න (The Phantom Load) 🔴

ටීවී එක රිමෝට් එකෙන් ඕෆ් කළාට වැඩක් නෑ. අර රතු පාට බල්බ් එක පත්තු වෙලා තියෙනවා කියන්නේ, ඒක තාම කරන්ට් එක බොනවා (Standby Mode). ටීවී, ඩයලොග් ටීවී ඩිකෝඩර්, සබ් වූෆර් වගේ හැම දේම රිමෝට් එකෙන් නැතුව ස්විච් එකෙන්ම ඕෆ් කරන්න. නැත්නම් ඔයා නිදාගෙන ඉද්දිත් මීටරේ කැරකෙනවා.
අංක 02. චාජර් ගලවන්න (Unplug Chargers)

ෆෝන් එක චාජ් වුණාට පස්සෙත් චාජර් එක ප්ලග් එකට ගහලා තියෙනවද? ෆෝන් එක නැතත්, චාජර් එක කරන්ට් එක ටික ටික බොනවා. චාජර් එක ඇතුලේ තියෙනවා “ට්‍රාන්ස්ෆෝමරයක්” (Transformer). මේකේ රාජකාරිය තමයි ගෙදර ලොකු කරන්ට් එක (230V) ෆෝන් එකට ඕන පොඩි කරන්ට් එකට (5V) හරවන එක. ඔයා ෆෝන් එක චාර්ජරේට ගැහුවත් නැතත්, ප්ලග් එක ඔන් කරලා නම්, අර ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමරේ වැඩ.
ෆෝන් එක නැති නිසා ඒ හදන ශක්තිය යන්න තැනක් නෑ. ඉතින් ඒක “රස්නය” (Heat) විදිහට පිට වෙලා නාස්ති වෙනවා. නිකමට චාජ් කරන්නේ නැති වෙලාවටත් ප්ලග් එකේ ගහලා තියෙන චාජර් එක අල්ලලා බලන්න, ඒක රස්නෙයි නේද? අන්න ඒ සල්ලි තමයි පිච්චෙන්නේ.වැඩේ ඉවර නම් ප්ලග් එකෙන් ගලවන්නම ඕනේ.
අංක 03. ෆ්‍රිජ් එකේ රබර් සීල් බීඩින් පටිය (The Gasket Check) ❄️

ෆ්‍රිජ් එකේ දොරේ තියෙන රබර් බීඩින් එක (Gasket) බුරුල් නම්, ඇතුලේ සීතල එළියට යනවා. එතකොට ආයේ කූල් කරන්න ෆ්‍රිජ් එකට දෙගුණයක් මහන්සි වෙන්න ඕනේ. මේ රබර් එක බුරුල්ද හිඩැස් තියෙනවද කියලා හොයා ගන්න හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. රෑට කුස්සියේ ලයිට් සේරම නිවලා, හොද එළියක් තියෙන මොකක් හරි ලයිට් එකක් ෆ්‍රිජ් එක ඇතුළට දාලා දොර වහන්න. දොර වැහුවට පස්සේ රබර් බීඩින් එක අස්සෙන් ලයිට් එළිය පේනවා නම් වහාම රබර් එක මාරු කරන්න. ලබන මාසේ ලයිට් බිල පුදුම විදියට අඩු වේවි.
අංක 04. ෆෑන් එකේ දූවිලි (Dusty Fans) 🌀

ෆෑන් එකේ පෙතිවල දූවිලි පිරිලා නම්, ඒක කරකවන්න මෝටර් එකට අමතර බලයක් ඕනේ. මාසෙකට සැරයක් ෆෑන් එක පිහදාන්න. ඒ වගේම රෙගියුලේටරේ වැඩ නැත්නම් අලුත් එකක් දාගන්න. නැත්නම් අඩුවෙන් කැරකුණත් කරන්ට් එක යන්නේ උපරිමෙන්.
අංක 05. වතුර උණු කිරීම (Kettle Logic) ☕

තේ කෝප්පයක් හදන්න කේතලය පිරෙන්න වතුර දාලා රත් කරන්න එපා. මොකද වැඩියෙන් දාන වතුර ටික රත් වෙන්න යන කරන්ට් එක අපරාදේ. ඕන ගාණට විතරක් වතුර දාන්න. ඒ කියන්නේ ගෙදර පස් දෙනාට තේ කෝප්ප 5ක් හදනවා නම් , ඔයා ඒ තේ කොප්පෙන්ම වතුර කෝප්ප 5ක් කේතලේට දාන්න. හරිම සිම්පල්. තේ ටිකත් පටස් ගාලා ඔයාට හදලා serve කරන්නත් පුළුවන්.
අංක 06. බත් එක රත් කරන “හොරා” (Rice Cooker Trap) 🍚

රයිස් කුකර් එකේ බත් ඉදුණම ‘Keep Warm’ එකේ පැය ගාණක් තියන්න එපා. ඒකෙන් හිතාගන්න බැරි කරන්ට් එකක් යනවා. බත් එක සීතල වෙලා නම්, Keep Warm දාලා පැය ගාණක් බලන් ඉන්න එපා. බත් එක උඩට වතුර මේස හැඳි 2ක් විතර ඉහින්න. ඊට පස්සේ කුකර් එකේ පියන වහලා සාමාන්‍ය විදිහට ‘Cook’ ස්විච් එක පහළට දාන්න. විනාඩි 2-3කින් වතුර ටික වාෂ්ප වෙලා මුළු බත් එකම අලුතෙන් ඉව්වා වගේ උණුසුම් වෙනවා. ඊට පස්සේ ප්ලග් එක ගලවන්න.
නැත්තම් ” හොට් පොට්” (Hot Pot / Casserole) එකකට මාරු වෙන්න. මේක තමයි ලෝකේ පිළිගත්තම සහ ලාභම ක්‍රමය. රයිස් කුකර් එක කරන්නේ “තාපය නිපදවන” (Generating Heat) එක. ඒකට කරන්ට් එක යනවා. හැබැයි හොට් පොට් එකක් කරන්නේ තියෙන “තාපය රඳවා ගන්න” (Insulation) එක. ඒකට ශත 5ක්වත් යන්නේ නෑ. බත් එක ඉදුණ ගමන්, රස්නෙ පිටින්ම හොට් පොට් එකකට බෙදලා පියන තදින් වහන්න. පැය 3-4ක් උණුවට තියෙනවා.
හොට් පොට් එකක් නැත්නම්, ඉස්සර අපේ ආච්චිලා කරපු වැඩක් කියන්නද ? රයිස් කුකර් එකේ බත් එක ඉදුණම ප්ලග් එක ගලවලා, ඝනකම රෙද්දකින් (ටවල් එකක් වගේ) හෝ පත්තර වලින් මුළු බඳුනම වටේටම ආවරණය කරන්න. තාපය එළියට යන්න බැරි නිසා රස්නේ රැඳෙනවා.
අංක 07. අයන් කරන්න එක දවසක් (Batch Ironing) 👔

උදේට හදිස්සියේ ෂර්ට් එකක් අයන් කරගෙන දුවන්න එපා. අයන් එකක් රත් වෙන්න (Heat up) තමයි වැඩිම කරන්ට් එකක් යන්නේ. ඉරිදට සතියෙම ඇඳුම් එකපාර අයන් කරන්න. මුලින් ඩෙනිම්/කපු ඇඳුම් අයන් කරලා, ස්විච් එක ඕෆ් කරලා ඒ රස්නෙන්ම සිල්ක් ඇඳුම් අයන් කරන්න. විදුලි බිල භාගේකින්ම අඩු වෙන ගමන්ම , ඔයාට උදේට පරක්කු නොවී වැඩට යන්නත් මේක උදව්වක් වේවි
අංක 08. LED වලට මාරු වෙන්න 💡

පරණ කහ පාට බල්බ් (Filament) තාම පාවිච්චි කරනවා නම් අදම ගලවලා විසි කරන්න. LED බල්බ් එකක් පරණ බල්බ් එකට වඩා 80%ක් විදුලිය ඉතිරි කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙදරට අලුතෙ බල්බ් ගන්න කොට හොද සන්නාමයකින් LED ඒවාම ගන්න.
අංක 09. වොෂින් මැෂින් එක පිරෙන්න දාන්න (Full Load) 🧺

රෙදි කෑලි දෙක තුනක් හෝදන්න මැෂින් එක දාන්න එපා. මැෂින් එකේ ධාරිතාව පිරෙන්නම රෙදි දාලා හෝදන්න. මොකද රෙදි 2ක් හේදුවත්, 20ක් හේදුවත් මෝටර් එකට යන කරන්ට් එක එකයි.
අංක 10. ප්ලග් ගලවලා යන්න

දවස් කිහිපයකට ගෙදරින් පිට යනවා නම්, ෆ්‍රිජ් එක ඇරෙන්න අනිත් හැම දේකම (Wifi රවුටරේ පවා) ප්ලග් ගලවලා යන්න. අකුණු ගහන එකෙන් බේරෙනවා විතරක් නෙවෙයි, නිකන් යන කරන්ට් එකත් ඉතිරි වෙනවා.
මේ පුංචි දේවල් ටික කරලා බලන්න. ලබන මාසේ බිල එද්දී ඒ වෙනස ඔයාටම දැනෙයි. ගෙදර අය එක්ක මේක Share කරගන්න. අමාරුවෙන් හම්බ කරන සල්ලි නිකන් පුච්චන්න එපා! 🔥💰
උපුටාගැනීමකි.







