ධවල මන්දිරයේ තවමත් සැරිසරනවා කියන ඒබ්‍රහම් ලින්කන්ගේ අද්භූත අවතාරය

274

ඇමරිකානු ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු නමක් තමයි ඒබ්‍රහම් ලින්කන් කියන්නේ. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඔහුගේ දේශපාලනය ගැන නෙවෙයි, ඔහු මියගිහින් වසර 150කට වඩා වැඩි කාලයක් ගතවුණත්, තවමත් ධවල මන්දිරයේ කොරිඩෝ දිගේ ඇසෙන ඒ අද්භූත පියසටහන් සහ පෙනී සිටීම් ගැනයි.

ඔබ විශ්වාස කළත් නැතත්, ලින්කන් කියන්නේ තමන්ගේ මරණය ගැන කලින්ම ඉඟි පහළ වුණු, අත්භූත සිදුවීම් එක්ක ජීවත් වුණු අමුතුම මනුස්සයෙක්.

ලින්කන් මුලින්ම ජනාධිපති විදියට තේරී පත්වුණු අලුත, දවසක් ඔහු තමන්ගේ නිවසේ තිබුණු කැඩපතකින් මුහුණ බලද්දී පුදුම දෙයක් දැක්කා. කැඩපතේ ඔහුගේ මුහුණේ “ප්‍රතිබිම්භ දෙකක්” පෙනෙන්න තිබුණා. එක මුහුණක් සාමාන්‍ය විදියට පෙනෙද්දී, අනිත් මුහුණ ඉතාමත් සුදුමැලි, හරියට මළසිරුරක මුහුණක් වගේ අඳුරු වෙලා තිබුණා.

ඔහු මේ ගැන තමන්ගේ බිරිඳ, මේරි ටොඩ්ට කිව්වා. ඇය ඒ කාලේ ඉඳලම අද්භූත දේවල් ගැන ලොකු විශ්වාසයක් තිබුණු කෙනෙක්. ඇය කිව්වේ, “ඔබ දෙවතාවක් ජනාධිපති වෙයි, හැබැයි දෙවැනි වාරය ඉවර කරන්න කලින් ඔබ මියයයි” කියන එකයි. ඒ අනාවැකිය අකුරටම ඉෂ්ට වුණා.

ලින්කන් ඝාතනය වෙන්න දවස් කිහිපයකට කලින් ඔහු පුදුම හීනයක් දැක්කා. ඒ හීනය ඔහු තමන්ගේ සමීපතමයන්ට විස්තර කළේ මේ විදියට:

“මම හීනෙන් දැක්කා ධවල මන්දිරය ඇතුළේ කවුරුහරි හයියෙන් අඬනවා. මම ඒ ශබ්දය පස්සේ යද්දී ‘ඊස්ට් රූම්’ (East Room) එකට ගියා. එතන මිනී පෙට්ටියක් තියලා තිබුණා. මම එතන හිටපු සොල්දාදුවෙක්ගෙන් ඇහුවා කවුද මැරිලා ඉන්නේ කියලා. ඔහු කිව්වා ‘ජනාධිපතිතුමාව කවුරුහරි ඝාතනය කරලා’ කියලා.”

මේ හීනය දැකලා දවස් කිහිපයකට පස්සේ, 1865 අප්‍රේල් 14 වැනිදා, ෆෝඩ් රඟහලේදී ජෝන් විල්ක්ස් බූත් විසින් ලින්කන්ව වෙඩි තබා ඝාතනය කළා.

ලින්කන්ගේ ජීවිතය දිහා බැලුවම ඒක දුක සහ කඳුළ පිරුණු එකක්. ඔහු කුඩා කාලයේදීම ඔහුගේ මව මියගියා. පස්සේ ඔහු ආදරය කරපු තරුණිය මියගියා. ඔහුගේ දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම ඔහු ජීවත්ව ඉද්දීම මියගියා. විශේෂයෙන්ම ධවල මන්දිරය ඇතුළේදී මියගිය ඔහුගේ ආදරණීය පුත් “විලී” ගේ වියෝව ලින්කන්ව මානසිකව ඇද වට්ටපු සිදුවීමක්. මේ වගේ දැඩි මානසික පීඩනයන් සහ වේදනාවන් එක්ක ජීවත් වුණු නිසාම, ඔහුගේ ආත්මය මේ ලෝකයට තදින් බැඳී තිබෙනවා කියලා මතයක් තියෙනවා.

 ලින්කන්ගේ මරණයෙන් පස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ ධවල මන්දිරයේ සේවකයන්, ආරක්ෂකයන් වගේම එහේ නවාතැන් ගත්තු රාජ්‍ය නායකයන් පවා ලින්කන්ගේ අවතාරය දැකලා තියෙනවා.

ඔහු වැඩිපුරම පෙනී ඉන්නේ ඔහු නිදන කාමරයක් විදියට පාවිච්චි කරපු “Lincoln Bedroom” එකේ සහ ඔහු වැඩ කරපු කාර්යාලයේ. සමහරු කියනවා රෑ මැදියමේ ලින්කන් ඇවිදින සද්දේ ඇහෙනවා කියලා. තවත් සමහරු ඔහු ජනේලයෙන් පිටත බලාගෙන ඉන්නවා දැකලා තියෙනවා.

ලින්කන්ව දැක්කේ සාමාන්‍ය අය විතරක් නෙවෙයි. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ඒ අත්දැකීමට මුහුණ දීලා තියෙනවා:

වින්ස්ටන් චර්චිල්: දෙවැනි ලෝක යුද්ධ සමයේ ධවල මන්දිරයේ නතර වුණු බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්, නාන කාමරයෙන් එළියට එද්දී දැකලා තියෙනවා ලින්කන් ගිනි උදුන අසල හිටගෙන ඉන්නවා. චර්චිල් තමන්ගේ සුපුරුදු හාස්‍යයෙන් “ජනාධිපතිතුමනි, මම ඉන්නේ බොහොම අපහසුවෙන්” කියලා කිව්වම අවතාරය හිනාවෙලා අතුරුදහන් වුණාලු!

නෙදර්ලන්තයේ විල්හෙල්මිනා රැජින දවසක් රෑ කාමරයේ දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා බලද්දී, ලින්කන් තොප්පියක් දාගෙන දොර ළඟ හිටගෙන ඉන්නවා දැකලා ඇය සිහි නැතිව ඇද වැටිලා තියෙනවා.

ග්‍රේස් කූලිජ් (ජනපති ආර්යාව) ඇය තමයි ලින්කන්ගේ අවතාරය මුලින්ම නිල වශයෙන් දුටු කෙනා. ඕවල් ඔෆිස් එකේ ජනේලයකින් ඈත බලාගෙන ඉන්න ලින්කන්ව ඇය පැහැදිලිව දැකලා තිබුණා.

ලින්කන්ගේ අවතාරය ධවල මන්දිරයට විතරක් සීමා වෙලා නැහැ. ලින්කන්ගේ දේහය වොෂින්ටනයේ ඉඳන් ස්ප්‍රින්ග්ෆීල්ඩ් දක්වා ගෙනියපු මාර්ගයේ, සෑම වසරකම අප්‍රේල් මාසයේදී “අවතාර දුම්රියක්” යනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවා. මේ දුම්රිය යනකොට අවට තියෙන ඔරලෝසු නතර වෙනවා කියලත්, කළු රෙදිවලින් වැසුණු දුම්රියක් නිහඬව ගමන් කරනවා කියලත් ගැමියන් අදටත් විශ්වාස කරනවා.

ඇයි ලින්කන් තවමත් යන්න යන්නේ නැතුව මෙහේ රැඳිලා ඉන්නේ? පර්යේෂකයන් පවසන අන්දමට, ලින්කන් කියන්නේ තමන්ගේ රට වෙනුවෙන් සහ තමන්ගේ පවුල වෙනුවෙන් දැඩි සෙනෙහසක් සහ වගකීමක් දරපු කෙනෙක්. විශේෂයෙන්ම ඇමරිකානු සිවිල් යුද්ධය නිසා රට බෙදී වෙන්වෙන්න ගිය වෙලාවේ ඔහු දැරූ උත්සාහය අතිමහත්.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ, ඇමරිකාවට යම් කරදරයක් හෝ විශාල තීරණයක් ගන්න තියෙන වෙලාවට ලින්කන්ගේ ආත්මය පෙනී ඉන්නවා කියලා. ඔහු තවමත් ධවල මන්දිරයේ මුරකරුවෙක් වගේ රට ගැන අවධානයෙන් ඉන්නවා කියන එකයි බොහෝ දෙනාගේ මතය.

විද්‍යාවෙන් මේ දේවල් ඔප්පු කරන්න බැරි වුණත්, ධවල මන්දිරයේ ඉතිහාසය ලින්කන්ගේ මේ අද්භූත කතාවලින් තොරව ලියන්න බැහැ. ඒ උස මිනිසා තවමත් තමන්ගේ පැරණි කාර්යාලයේ වාඩි වෙලා, රටේ අනාගතය ගැන කල්පනා කරනවා වෙන්න පුළුවන්.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!